වැවක ප්‍රධාන අංග
අපේ රටේ පැරණිතම ජනාවාස පැතිරී තිබුණේ වියළි කලාපයේ ය. එහි විසු ජනයාගේ ප්‍රධානතම ගැටලුව වුයේ ගොවිතැන් කටයුතු වලට සහ තම එදිනෙදා පැවත්ම සදහා අවශ්‍ය ජලය රැස් කරගැනිමයි. ඒ සදහා ඔවුන් වැව් ඉදිකිරීම සිදු කල අතර වැව් ඉදිකිරීම සදහා අනුගමනය කරන ලද තාක්ෂණය හා ශිල්පීය ක්‍රම ඉතා උසස් මට්ටමක පැවත ඇත. භූ විෂමතාවය, භූ වයුහය,ජලවහනය,වර්ෂා ජලය,ජල උල්පත්, වනාන්තර වල පිහිටීම ආදි කරුණු පිළිබඳව සැලකිල්ලට ගනිමින් වැව් ඉදිකර තිබේ. වැව් ඉදිකිරීමේ දි රජවරුන්ගේ අනුග්‍රහය, මිනිසුන්ගේ ශ්‍රමය,අලි ඇතුන් ආදි සතුන්ගේ ශ්‍රමය, වාරි ශිල්පීන් සහ ගල් වඩුවන්ගේ ශිල්පීය දැනුම තාක්ෂණික දැනුම ආදි කරුණු ප්‍රබල සාධක වී ඇත.

වැවක් ඉදිකිරීමේදී පැරණි වාරි ශිල්පීන් අනුගමනය ක‍ළ ක්‍රියාමාර්ග ලෙස ජලාධාර කලාපය තීරණය කිරිම, වැව් බැම්ම ස්ථානගත කිරිම,රළපනාව යෙදීම, සොරව් නිර්මාණය කිරීම,ඇතුළුවාන සහ පිටවාන යෙදීම,ඇළමාර්ග ඉදිකිරීම,ඉස්වැටි ඉදිකිරීම,කුළු වැව් ඉදිකිරීම,වැව් නඩත්තු කිරීමට නිළධාරීන් පත්කිරීම, වැනි ක්‍රියාමාර්ග අනුගමනය කර ඇත.

වැව් බැම්ම












වැව් බැම්ම වැවක ප්‍රධානතම අංගයක් වේ. වැවකට එක් රැස් වන වීශාල ජලධාරීතාව දරා ගැනීමට නම් නිසැකවම වැව් බැම්ම ශක්තිමත් විය යුතුය. එමෙන්ම ඉදිකිරීමේන් පසුව වැව් බැම්ම ගිලා නොබැසිය යුතුය. පැරණි වාරි ශිල්පීන් විසින් මෙම කරුණු සැලකිල්ලට ගෙන වැව් බැම්ම නිර්මාණය කිරිමේදී පොළවේ පිහිටි ගලක් තෝරාගෙන එම ස්ථානයේ වැව් බැම්ම ඉදිකර තිබේ. තවද ස්වාභාවිකව පිහිටි කදු දෙකක් අතර වැව් බැම්ම ඉදිකර කදු දෙකට සම්බන්ධ කර තිබේ. එමෙන්ම වැව් බැම්ම ඉදිකිරීමේ දි පස් තට්ටු කිහිපයක් ( මැටි තට්ටුවක්,පස් තට්ටුවක්,බොරලු තට්ටුවක්,කිරිමැටි තට්ටුවක්, වැනි අයුරින් ) යොදා ගෙන බැම්ම නිර්මාණය කර ඇත. වැව් බැම්ම නිර්මාණය කිරිමේදී පස් එළිම හා පස් තැලිමට සතුන් භාවිත කර ඇත. වැව් බැම්මක ශක්තිය තීරණය වුයේ පස් තැලීම මතය.මෙලෙස නොයෙකුත් ක්‍රම භාවිත කරමින් ශක්තිමත් ව වැව් බැම්ම නිර්මාණය කර ඇත්තේ වැව ජලයෙන් පිරුණු පසු එහි රැස් වන ජල කද මගින් ඇති කරන පීඩනය දරාගැනිමටය.

සොරොව්ව



වැවක තවත් ප්‍රධාන අංගයක් වන්නේ සොරව්වයි. පැරණි වැව් වල මඩ සොරව්ව සහ ගොඩ සොරව්ව යනුවෙන් සොරව් දෙකකි. විශාල ප්‍රමාණයේ වැව් වලින් ජලය පිටතට ගැනීම සියුම්ව කල යුතුය. ජල කදේ පීඩනය සමග ජලය මුදා හැරීමේදී විනාශකාරී ප්‍රතිඵල ඇති විය හැක. එම නිසා පැරණි වාරි ශිල්පීන් සොරව් නිර්මාණය කර ඇත. වැව් බැම්මේ ජලය පිරී පවතින ප්‍රදේශයෙන් හෝ වැව් බැම්ම යටින් හෝ එය විනිවිඳ යන ආකාරයට ස්වාභාවික ගල් පතුරු භාවිත කොට සොරව් නිර්මාණය කර ඇත.එයින් ජලය මුදා හැරිමට භාවිත කරන ලද්දේ සිරස් අතට සොරව්වට සම්බන්ධ කර තිබු ගල් කුලුනකි. එය එහා මෙහා කිරිමෙන් අවශ්‍ය ප්‍රමාණයෙන් ජලය පිටතට මුදාහැරීමට හැකිය.
බිසෝකොටුව



වැවක තවත් ප්‍රධාන අංගයක් වන්නේ බිසොකොටුවයි. මෙය පැරණි වාරි තාක්ෂණයේ සුවිශේෂී නිර්මාණයකි. විශාල වැව් වල සොරව් වලට සම්බන්ධ කරමින් බිසොකොටුව නිර්මාණය කර ඇත.කලුගලින් නිර්මාණය කර ඇති මෙය හතරැස් ළිදක ස්වරූපයෙන් පවති. බිසොකොටුවට ජලය ඇතුළු වන්නේ එහි පත්ලේ ඇති විවරයකිනි. එම විවරයට ලම්භකව බිසෝකොටුවේ අනික් පැත්තේ ඇති විවරය නළයකින් සොරව් නළයට සම්බන්ධ කර ඇත. මෙම නිර්මාණය මගින් ජල පීඩනය පාලනය කරන බැවින් සොරොව්වත් වැව් බැම්මත් ආරක්ෂා වේ. ලොව කිසිදු රටක මෙවනි අතිවිශිෂ්ට ජලපාලන උපකරණයක් හමු වී නොමැත.
පිටවාන හා ඇතුල්වාන
වැවක තවත් ප්‍රධාන අංගයක් වන්නේ පිටවාන සහ ඇතුල්වානයි. පිටවාන නිමවා ඇත්තේ ශක්තිමත් කලුගල් වලිනි. වැව් බැම්මට මීටර් 1ක් හෝ 2ක් පමණ උසින් අඩුවන සේ වැව් බැම්මේ කෙළවරක පිටවාන නිමවා ඇත. වැවක අතිරික්ත ජලය පිටතට ගැනීමට පිටවාන උපකාරී වේ. පිටවානක් නොතිබුණු හොත් වැව් බැම්ම උඩින් වැඩි ජලය ගමන් කොට වැව් බැම්ම විනාශ විය හැක. එබැවින් පැරණි ශිල්පීන් පිටවාන යොදා ගෙන ඇත. ඇතුළුවාන සකස් කර ඇත්තේ බාහිර සැපයුමකින් ජලය වැව තුළට ඇතුළු කර ගැනීමටයි. ඇතුළුවානට මදක් ඔබ්බෙන් දියවල නැමැති වැලි රදනයක් නිමවා ඇළමාර්ග ය ඔස්සේ රොන්මඩ හා වැලි වැවට ඇතුළු වීම පාලනය කර ඇත.
රළපනාව
වැවක තවත් ප්‍රධාන අංගයක් වන්නේ රළපනාවයි. සලපනාව,රළපැන්නුම ලෙස ද මෙය හැදින්වේ. වැවක ඇතිවන ජල තරංග මගින් වැව් බැම්මට වන හානිය වැළැක්වීමට රළපනාව යෙදීම සිදු කරඇත. වැව් බැම්මේ ඇතුළු පැත්තේ කලුගල් ඇතිරීම මගින් මෙලෙස බැම්ම ආරක්ෂා කරගැනීම රළපනාව යෙදීම ලෙස හදුන්වයි.
වැවක තවත් ප්රධාන අංගයක් වන්නේ ඉස්වැටි ඉදිකිරීමයි. වැව ඉස්මත්තේ මීටර් 1ක් පමණ උසට යොදා ඇති පස් වැටි මෙලෙස ඉස්වැටි ලෙස හදුන්වයි. වැසි කාලයට වැව් ඉහත්තාවේ සිට සෝදා ගෙන එන වැලි,ගල්,පස්,කොළ රොඩු,මඩ ඉස්වැටි මගින් රදවා ගැනීම නිසා වැව ගොඩවීම වළක්වා ගත හැක.
කුලු වැව හෙවත් කුඩා වැව

වැවක තවත් ප්‍රධාන අංගයක් වන්නේ කුලු වැව හෙවත් කුඩා වැව ය. මෙම වැව් වැසි කාලයට ජලයෙන් පිරි යන බැවින් වැව් ඉහත්තාව ජල ගබඩාවක් බවට පත්වේ. ජලාධාර කලාපයේ පවතින වනාන්තරය ආරක්ෂා කරගැනීම,වැවට රොන්මඩ ගලාගෙන ඒම වැළැක්වීම,මහ වැවට උල්පත් ජලය ලබාදීම වැනී සේවාවන් රැසක් කුඩා වැව් හෙවත් කුලු වැව් මගින් ඉටුවේ.
වැව් තාවුල්ලයි

වැවක තවත් ප්‍රධාන අංගයක් වන්නේ වැව් තාවුල්ලයි.වැවේ උපරිම ජල මට්ටම ලකුණු කරන සීමාව හා ඊට යාබදව වැව වට පිහිටි ප්‍රදේ‍‍ශය වැව් තාවුල්ල වේ. මෙය තණ පදුරු වලින් හෙබි සුන්දර කලාපයකි. වන සතුන් විහගුන්, මොණරුන් ආදී සතුන් මෙහි නිතර ගැවසේ.
කළිඟු බැම්ම
වැවක තවත් ප්‍රධාන අංගයක් වන්නේ කළිඟු බැම්මය.මෙය වැව තුළ පිටවානට ලම්භකව ඉදිකර ඇත. කලුගල්වලින් නිර්මාණය කර ඇත. යම් අවස්ථාවක පිටවාන බිදි ගියහොත් වැවේ ජලය ආරක්ෂා කරගැනීමට මේවා ඉදිකිරීම සිදු කරඇත.
ජලාධාර කලාපය

වැවක තවත් ප්‍රධාන අංගයක් වන්නේ ජලාධාර කලාපය යි. වැව් ඉස්මත්තේ පිහිටි කලාපයේ වු වනාන්තර කලාපය මෙලෙස හදුන්වයි. වැවක පෝෂක ප්‍රදේශය වන්නේ ජලාධාර කලාපය යි.


Comments